ඔන්න අද අපි කියන්නෙ කොත්තු හදන විදියයි. ලංකාවෙන් පිට ඉන්න අයට කොත්තු තරම් රජ කෑමක් තවත් නෑනේ.. කොහොමද චිකන් කොත්තුවක් මරු නේද??? ඔන්න එහෙනම් කොත්තුවේ රෙසපිය..
අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි ග්‍රෑම් 750
තෙල්
ලුනු
වතුර තරමක් රස්නෙන්
කැරට් අල 3
ලීක්ස් ගස් 2
ලොකු ළුණු ගෙඩි 1
සුදු ළුණු බික් 4
තක්කාලි ගෙඩි 2
අමු මිරිස් කරල් 3
බිත්තර 3
කුකුල් බාගයකින් මිරිසට සාදාගත් චිකන් කරියක්
සාදාගන්නා ආකාරය-
- ලොකු බාජනයකට පිටි, ලුනු තේ හැඳි 3 ක් , තෙල් මේස හැඳි 5 ක් දමා හොඳින් විනාඩි 5 ක් පමණ කලවම් කරන්න. එයට මද රස්නේ වතුර ටික ටික දමමින් කලාවන් කරන්න. එය පදම හරි ගියවිට බෝලයක් මෙන් වේ. අතේ ඇලෙන්නේ නැත.
- දැන් ප්ලාස්ටික් බෑග් එකක් සහ පොඩි බාජනයකට තෙල් ටිකක් දමාගන්න. ලොකු පිටි බෝලයෙන් පිටි අරන් පොඩි බෝල සාදා ඒවා තෙල්වල පොගවා ප්ලාස්ටික් බෑග් එකට දාන්න. ඒ විදියට සාදාගත් පිටි බෝල බෑග් එක ගැටගසා පැයක් පමණ තබන්න. වරින් වර උඩ යට මාරු කරන්න.
- ෆ්ලැට් පෑන් එකක් රත් වෙන්න ලිපේ තියන්න. සාදාගත් බෝල මේසයක් උඩ ගොඩක් හොදින් තුනී කරන්න.ඉන්පසු පෑන් එකට දාන්න. දෙපැත්තම පිසගන්න. මේ රොටි බදුනකට දමා රෙද්දකින් වහන්න. නැත්තම් රොටිය වියලේ. මෙලෙස ඔක්කොම සාදා ගන්න. ඉන්පසු රොටි තීරු වලට කපාගන්න.
- චිකන් හොද්දෙන් කෑලි වෙන්කර ඒවායේ කටු අයින් කරන්න. ලොකු තාච්චියකට (වෝක්) එකකට තෙල් දමා බිත්තර බැදගන්න.(කුඩා කෑලි වෙනලෙස)ඉන්පු ඒවා අයින් කර තෙල් ටිකක් දමා කපාගත් සුදු ළුණු, කැරට්, අමු මිරිස්, ළුණු, ලීක්ස්, තක්කාලි චිකන් පිළිවෙලින් එකතු කර ගන්න. එයට කලින් බැදගත් බිත්තර සහ රොටි එකතු කරන්න හොදින් කලවම් කරන්න. චිකන් හොඳි ටිකක් දාගන්න. ගින්දර හොදින් වැඩි කර කලවම් කරනවා වෙනුවට පැතලි හැන්දකින් කොටන්න.