Saturday, March 31, 2012

පයින්ඇපල් අප්සයිඩ් ඩඋන් (Pineapple upside-down)



අද නම් කියන්න යන්නෙ කේක් ජාතියක් හදන හැටි.. මේකට කියන්නේ පයින්ඇපල් අප්සයිඩ් ඩඋන් (pinapple upside down). මේක එකපාරක් හැදුවොත් අනිවාර්යයෙන්ම ආයි හදනවා.. ඒ තරම් රසයි.
ඔන්න එහෙනම් රෙසපිය.....



 අවශ්‍ය ද්‍රව්‍ය-

සෙන්ටිමීටර 23 විෂ්කම්භය ඇති බටර් ගාගත් රවුම් බේකින්ග් තැටියක්
කැරමල් වලට-
ගාගත් හකුරු හෝ දුඹුරු සීනි ග්‍රෑම් 160
පොඩියට කපාගත් බටර් ග්‍රෑම් 60
කේක් එකට-
ඉදුණු අන්නාසි ගෙඩියක්
පිටි ග්‍රෑම් 200
බේකින්ග් පෞඩර් තේ හැඳි 2
ලුණු තේ හැඳි 1/4
බිත්තර 2
බටර් ග්‍රෑම් 110
කැට පොඩි සීනි ග්‍රෑම් 200
වැනිලා තේ හැඳි 1
කිරි මිලි ලීටර් 120
සාදා ගන්නා ආකාරය-
  • කැරමල් සඳහා අවශ්‍ය හකුරු, බටර් අඩු ගින්දරින් හැඳි ගාමින් රත් කර ගන්න. එහි කැට නැති වූ විට හැඳි ගෑම නතර කර වටේ බුබුළු දමනකම් රත්කරගන්න. එය කර නොවිය යුතුය. එය උනුවෙන්ම බේකින්ග් පෑන් එකට දමාගන්න. එහි පතුල වැසෙන ලෙස එය තුනී කරගන්න.
  • අන්නාසි ගෙඩිය සුද්දකර හතරට පලා බඩය ඉවත්කරන්න. අගල් 1/4 විතර ඝනකමට පෙති කපාගන්න. ඒවා කැරමල් එක උඩින් ඉතා ළගින් හිඩැස් අවම ලෙස පතුල වැසෙනකම් එක තට්ටුවක් වෙනලෙස තියන්න.
  • දැන් කේක් එක සදා ගැනීමට පිටි, බේකින්ග් පෞඩර්, ලුණු කලවම් කර  2 වරක් හලා ගන්න.
  • බිත්තර කහමද වෙන්කරගන්න. (කාමර උෂ්ණත්වයෙන්)
  • බටර් (කාමර උෂ්ණත්වයෙන්) ක්‍රීම් වනතුරු බීට් කරගන්න. සීනි කලවම් කර විනාඩි කිහිපයක් බීට් කරන්න. බිත්තර කහමද එකබැගින් එකතු කර බීට් කරන්න. වැනිලා එකතු කරගන්න.
  • දැන් බීට් කරනගමන් පිටි මිශ්‍රණයෙන් 1/3 ක් එකතු කරන්න. එය හොදින් කලවම් වූ පසු කිරි වලින් 1/2 ක්ද, ඉතුරු පිටි වලින් 1/2 ක්ද නැවත ඉතුරු කිරිද, අවසානයේ ඉතුරු පිටිද එකතු කර ගන්න.(පිටි 3 පාරකටද, කිරි දෙපාරකටද එකතු විය යුතුය.)
  • බිත්තර සුදු මඳ වෙනම ඉතා හොදින් ගසාගන්න.(පෙන කඩා වෙටෙන ගතිය යනකම් බීට් කරන්න.)
  • ගසාගත් බිත්තර සුදු මඳ කේක් මිශ්‍රණයට දමා හිමින් පැතලි හැන්දකින් කලවම් කරගන්න.
  • එය අන්නාසි දැමු පෑන් එකට හිමින් දමාගන්න. විනාඩි 45-55 ක් සෙල්සියස් 180 ට බේක් කරගන්න. මැදට ටූත් පික් එකක් ගැසුවිට එහි කිසිත් ගෑවී නැත්නම් එය බාගන්න.
  • පෑන් එකේ අයින වටේට පිහිතලයක් යවා කේක් එක බුරුල් කරගන්න. පැතලි පිගානක් පෑන් එක උඩින් තබා උඩයට ගසාගන්න. අන්නාසි කැබලි පෑන් එකේ ඇලී එත්නම් ඒවාද කේක් එක උඩින් තියාගන්න. දැන් උනුවෙන්ම කන්න.



Monday, March 5, 2012

ස්විස් රෝල් (chocolate roll)

 ඔන්න අද අපි කියන්නේ එළකිරි වගේ කෑමක්..මතකද පොඩිකාලේ කාපු චොකලට් රෝල්... අම්මෝ කියනකොටත් කටට කෙළ එනවා.. ඒකම නෙමේ උනාට රහනම් ඒ වගේමයි. මේක හදන්න අමාරු නෑ..හැබැයි මේකේ මැදට දාන NUTELLA නම් හොයාගන්න වෙනවා. නැත්තම් ජෑම් උනත් මැදට දාන්න පුළුවන්. ඔන්න එහෙනම් රෙසපිය...

අවශ්‍ය ද්‍රව්‍ය-                                                                       කාලය විනාඩි 15
බිත්තර 5
පිටි ග්‍රෑම් 100
කෝන් පිටි ග්‍රෑම් 25
සීනි ග්‍රෑම් 125
ලුනු තේ හැඳි 1/2
බේකින්ග් පෞඩර් තේ හැඳි 1/2

  • බිත්තර එක බැගින් බදුනකට දමා බීට් කරගන්න. සීනිද ටික ටික එකතු කරන්න. බිත්තර විනාඩි 10 ක් -15 ක් බීට් කරගන්න. එය ප්‍රමාණයෙන් කිහිප ගුණයක් වැඩිවී තිබිය යුතුය. සීනි දමා අවසන් නම් පිටි හැන්ද බැගින් එකතුකර හොදින් බීට් කරන්න. කෝන් පිටි,බේකින්ග් පෞඩර් හා ලුණුද  එකතු කරන්න. 
  • උස අඩු කොටු බේකින්ග් තැටියකට( 35x35 ) තෙල්කොල දමා සකස් කරගන්න. එයට මිශ්‍රණය (තැටියේ පැතුරුණු පසු එහි උස සෙන්ටිමීටර එකකට වඩා වැඩි නොවිය යුතුය) දමා සෙල්සියස් 180 ට විනාඩි 10 ක් බේක් කරගන්න.
  • බාගත් තුනී කේක්එකේ වාටි කපා ඉවත් කරන්න. උනුවෙන්ම එය උඩින් එක පැත්තක Nutella ගා ගන්න. ඉන් පසු තෙල් කොලේ උදව්වෙන් Nutella ඇතුලට වෙනලෙස එය හොදින් තදට රෝල් කරගන්න. 
  • තෙල් කොලයේම ඔතා ඉන් පසු එය පොලිතින් කොලයකින්ද ඔතා සීතලවෙන්න ශීතකරණයේ පැය 2ක 3ක් තියන්න.
  දැන් මේක බඩට යන්න ලෑස්තියි. මොනවා හරි තේරුනේ නැත්තම් කමෙන්ට් එකක් දීල අහන්න.

Saturday, March 3, 2012

chinese විදියට චිකන් (Orange Chicken )

ටික දවසකින් මොනවත් රෙසපි නොදාපු නිසා මට හිතුන අද ඇමරිකාවේ තියන chinese චිකන් රෙසපියක් අපේ කට්ටියට දෙන්න. හදන්න අමාරුත් නෑ රසත් නියමයි. මේක සැරයි, පැණි රසි, ඇඹුලයි. ඔන්න එහෙනම් රෙසපිය...
අවශ්‍ය ද්‍රව්‍ය-
පොඩි කොටුවට කපාගත් කටු නැති හම නැති කුකුල් මස් ග්‍රෑම් 750
ගම්මිරිස් තේ හැඳි 1/2
බිත්තර 1
ලුනු තේ හැඳි 1 1/2
තෙල් මේස හැඳි 1 1/2
කෝන් පිටි කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/4
අඹරාගත් ඉගුරු තේ හැඳි 1
අඹරාගත් සුදු ළුණු බික් 2
පොඩියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1/2
වයින් තේ හැඳි 1 (කැමති නම්)
වතුර කෝප්ප 1/4
කෝන් පිටි මේස හැඳි 1
වේලිච්ච මිරිස් කරල් 3
දෙහි බාගයක්
සොසේ එකට....
සීනි මේස හැඳි 5
විනාකිරි මේස හැඳි 5
සෝයා සෝස් මේස හැඳි 1 1/2
වතුර මේස හැඳි 1 1/2

සාදාගන්නා අකාරය-
  • ලොකු බාජනයකට කුකුල් මස්, ලුනු, බිත්තරය, ගම්මිරිස්, තෙල් දමා හොදින් කළවම් කරන්න. කෝන් පිටි කෝප්ප 1/2, පාන් පිටි කෝප්ප 1/4 හොදට කළවම් කරන්න. දැන් පිටිවලට කුකුල් මස් දමා කළවම් කරන්න.
  • මේ කුකුල් මස් ගැඹුරු තෙලේ බඳින්න තෙල් එකක් ලිපේ තියන්න. එකකට එකක් ඇලෙන්නේ නැතිවෙන්න ටික ටික බැඳගන්න. තෙල් බේරෙන්න ටිකක් තියන්න.
  • සෝස් එකට අවශ්‍යදේ කෝප්පයකට දමා කළවම් කර පැත්තකින් තියන්න.
  • ලොකු තාච්චියකට (වෝක් එකක් තියෙනවනම් හොදයි නැත්තම් ලොකු පෑන් එකක් ගන්න) තෙල් තේ හැඳි 1 දමා වැඩි ගින්දරින් ලිපේ තියන්න. ඉගුරු හා සුදුළුණු එකතු කරන්න. යන්තම් බැදෙනකොට ළුණු, තුනට හතරට කැඩූ වියලි මිරිස් කරල් දාන්න. වයින් තේ හැන්දද දාන්න. ඒත් එක්කම සෝස් එක එකතුකර ගන්න. සෝස් එක නටන කොට චිකන් එකතු කරන්න. හොදට කළවම් කරන්න.
  • වතුර කෝප්ප 1/4 ට කෝන් පිටි මේස හැඳි 1 කළවම් කර එයද තාච්චියට දමන්න. සෝස් එක ටිකක් ඝන වෙනකම් රත් කර ලිපෙන් බාන්න. දෙහි බෑයක යුෂ කළවම් කරගන්න. 
උණු වෙන්ම බත් එක්ක කන්න.. රස හොදනම් කමෙන්ට් එකක් දෙන්න.

Thursday, January 5, 2012

කොත්තු රොටි

ඔන්න අද අපි කියන්නෙ කොත්තු හදන විදියයි. ලංකාවෙන් පිට ඉන්න අයට කොත්තු තරම් රජ කෑමක් තවත් නෑනේ.. කොහොමද චිකන් කොත්තුවක් මරු නේද??? ඔන්න එහෙනම් කොත්තුවේ රෙසපිය..

අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි ග්‍රෑම් 750
තෙල්
ලුනු
වතුර තරමක් රස්නෙන්
කැරට් අල 3
ලීක්ස් ගස් 2
ලොකු ළුණු ගෙඩි 1
සුදු ළුණු බික් 4
තක්කාලි ගෙඩි 2
අමු මිරිස් කරල් 3
බිත්තර 3
කුකුල් බාගයකින් මිරිසට සාදාගත් චිකන් කරියක්
සාදාගන්නා ආකාරය-
 
  • ලොකු බාජනයකට පිටි, ලුනු තේ හැඳි 3 ක් , තෙල් මේස හැඳි 5 ක් දමා හොඳින් විනාඩි 5 ක් පමණ කලවම් කරන්න. එයට මද රස්නේ වතුර ටික ටික දමමින් කලාවන් කරන්න. එය පදම හරි ගියවිට බෝලයක් මෙන් වේ. අතේ ඇලෙන්නේ නැත.
  • දැන් ප්ලාස්ටික් බෑග් එකක් සහ පොඩි බාජනයකට තෙල් ටිකක් දමාගන්න. ලොකු පිටි බෝලයෙන් පිටි අරන් පොඩි බෝල සාදා ඒවා තෙල්වල පොගවා ප්ලාස්ටික් බෑග් එකට දාන්න. ඒ විදියට සාදාගත් පිටි බෝල බෑග් එක ගැටගසා පැයක් පමණ තබන්න. වරින් වර උඩ යට මාරු කරන්න.
  • ෆ්ලැට් පෑන් එකක් රත් වෙන්න ලිපේ තියන්න. සාදාගත් බෝල මේසයක් උඩ ගොඩක් හොදින් තුනී කරන්න.ඉන්පසු පෑන් එකට දාන්න. දෙපැත්තම පිසගන්න. මේ රොටි බදුනකට දමා රෙද්දකින් වහන්න. නැත්තම් රොටිය වියලේ. මෙලෙස ඔක්කොම සාදා ගන්න. ඉන්පසු රොටි තීරු වලට කපාගන්න.
  • චිකන් හොද්දෙන් කෑලි වෙන්කර ඒවායේ කටු අයින් කරන්න. ලොකු තාච්චියකට (වෝක්) එකකට තෙල් දමා බිත්තර බැදගන්න.(කුඩා කෑලි වෙනලෙස)ඉන්පු ඒවා අයින් කර තෙල් ටිකක් දමා කපාගත් සුදු ළුණු, කැරට්, අමු මිරිස්, ළුණු, ලීක්ස්, තක්කාලි චිකන් පිළිවෙලින් එකතු කර ගන්න. එයට කලින් බැදගත් බිත්තර සහ රොටි එකතු කරන්න හොදින් කලවම් කරන්න. චිකන් හොඳි ටිකක් දාගන්න. ගින්දර හොදින් වැඩි කර කලවම් කරනවා වෙනුවට පැතලි හැන්දකින් කොටන්න.
ඔන්න කොත්තුව රෙඩි.. දැන් චිකන් හොදිත් එක්ක හොදට බඩ පිරෙනකන් කොත්තු කන්න..


Saturday, November 5, 2011

ස්පොන්ජ් කේක් (Sponge Cake)

මොනාද මේ කට්ටිය උජාරුවෙන් කියන "ස්පොන්ජ් කේක්" කියන්නෙ..? අන්න ඒකට අද අපි හොඳ උත්තරයක් දෙන්නයි යන්නෙ. ස්පොන්ජ් කේක් ගොඩාක් වෙලාවට ගන්නෙ වෙන නම් තියන කේක් හදන්න. ඒ කියන්නෙ ස්විස් රෝල්, ගැටෝ, ට්‍රෙස් ලෙක් වගේ කේක් ජාති හදන්නෙ, මේ කේක් එක හදල තමා. දැන් තෙරුනානේ සීන් එක. ඔන්න එහෙනම් රෙසපිය....

අවශ්‍ය ද්‍රව්‍ය-                                                      කාලය විනාඩි 45
බිත්තර 5
සීනි ග්‍රෑම් 125
පිටි ග්‍රෑම් 125
බේකින්ග් පෞඩර් තේ හැඳි 2

සාදා ගන්නා ආකාරය-
  • බිත්තර සුදුමද බීට් කරගන්න. බීට් කරන අතරතුර සීනිද ටික ටික එක්කරන්න. හොදින් බීට් ඌ විට පෙන ගතිය වැඩිය. එයට ඉන්පසු කහ මදද එක්කර බීට් කර ගන්න.
  •  පිටි වලට බේකින්ග් පෞඩර් දමා තුන් පාරක් හලාගන්න(නැතිනම් හොඳින් කලවම් නොවේ).
  • දැන් බිත්තර සහ පිටි මිශ්‍ර කරගන්න. මෙය හැන්දකින් ඉතා සිමින් පෙන වලට හානියක් නොවෙන ලෙස කලයුතුය.
  • මෙය බටර් ගා පිටි පොඩ්ඩක් දමා සකසාගත් බේකින්ග් තැටියකට දමා සෙල්සියස් 180 ත් 200 ත් අතර උෂ්ණත්වයෙන් විනාඩි 25 ක් 35 ක් පමණ බේක් කරගන්න.

Thursday, November 3, 2011

බුරියානි (Biryani)

මොනාද කෑමට? කියල ඇහුවහම බුරියානි කියල ඇහෙනකොට කොහොමද දැනෙන ආතල් එක... ඔන්න ඒක හින්දම අපි දෙනවා අද රියල් බුරියානි පාරක්.. මේකට බිත්තරයි තක්කාලි සැලඩ් එකයි  හදාගන්න අමතක කරන්න එපා හොදේ.. ඔන්න එහෙනම් රෙසපිය...

අවශ්‍ය ද්‍රව්‍ය-                                                              කාලය විනාඩි 50
හාල් කෝප්ප 2 (බාස්මතී නම් වඩාත් හොඳයි)
ලොකුවට කැපු කුකුල් මස් ග්‍රෑම් 500
ඉතා සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 2
කහ තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ තේ හැඳි 2
සුදුළුනු බික් 5
අඟලක් දිග ඉගුරු කැල්ලක්
කුරුදු කැල්ලක්
කරදමුංගු 3
කරාබුනැටි 3
ගම්මිරිස් තේ හැඳි 1/2
තරමක් ලොකු තක්කාලි ගෙඩි 2
ග්‍රීන් පීස් ග්‍රෑම් 150
මුද්දරස්පලම් ග්‍රෑම් 70
බැදපු කජු ග්‍රෑම් 50
කරපිංචා ඉත්තක්
බටර් මේස හැඳි 3 හෝ තෙල්
ලුණු අවශ්‍ය තරමට

සාදාගන්නා ආකාරය-
  • සහල් සෝදා පෙගෙන්නට තබන්න. බටර් රත් කර ළුණු රන්වන් පාට වනතෙක් බැද තෙල් බේරෙන්නට හරින්න. ඉතුරු තෙල් ටිකටම මුද්දරස්පලම් හා ග්‍රීන් පීස් දමා යන්තම් බැද එයද තෙල් බේරෙන්නට තබන්න
  • දැන් ගින්දර අඩු කර ඉතුරු තෙල් ටිකට කරපිංචා, සුදුළුනු, ඉඟුරු,මිරිස්, තුනපහ දමා විනාඩි දෙක තුනක් බැදගන්න තෙල් මදිනම් තව තෙල් ටිකක්ද එකතුකර ගන්න. කුකුල්මස් හා ගම්මිරිස් මෙයට එකතුකර හොදින් කලවම් කර වසා අඩුගින්දරෙන් විනාඩි 10 ක් පමණ පිසගන්න.
  • කුඩාවට කැපූ තක්කාලි, කුරුදු, කරදමුංගු, කරාබුනැටි, කහ, ලුණු දමා වතුර කෝප්ප 1 1/2 ක්ද එකතු කර වසා තවත් විනාඩි  10 ක් පමණ පිසගන්න.
  •  එහි ඇති කුකුල් මස් හා හොඳි කෝප්ප 1/2 වෙන්කර ඉතුරු හොඳිවලට පෙගූ සහල් දමන්න. අවශ්‍යනම් තව ලුණු එකතුකරගන්න. වතුර බුබුළු දමනවිට ගින්දර ඉතා අඩුවෙන් තබා වසා විනාඩි 15 ක් පමණ තබන්න. දැන් බත සදා අවසන්.
  • කුකුළු මස් ගැඹුරු තෙලේ බැදගන්න. හොඳින් තැම්බුන බතට බැදපු ළුණු, කජු, මුද්දරස්පලම්, සහ ග්‍රීන් පීස් කලවම් කරගන්න. බත් බැදපු කුකුල්මස් හා  ඉවත් කරගත් හොඳි සමග පිළිගන්වන්න.
*බුරියානි සම්පුර්ණ විමට නම් තම්බා ගැබුරු තෙලේ බැදගත් බිත්තර සහ ළුණු තක්කාලි  සලාදයක් අවශ්‍යවේ.

කුකුල් මස් හොඳි වෙනස් විදියකට (Chicken Curry)

ඔන්න මගේ කුස්සියෙ අපි හිතුව හැමදාම කන කුකුළව වෙනස් රහකට කෑවොත් හොඳයි කියල. මේක හදනවනම් කොත්තමල්ලි අනිවාර්යෙන්ම දාන්න අමතක කරන්න එපා. කුඩු නැත්තම් කොත්තමල්ලි ටිකක් තලලා හරි දාන්න එතකොට තමා නියම රහ එන්නේ. කාලම බලන්නකෝ... ඔය වැඩිපුර සැරට කන්න කැමති මල්ලිලට පුළුවන් මිරිස් කරලක්, ගම්මිරිස් ටිකක් එහෙම දාල සැර වැඩිකර ගන්න. ඔන්න එහෙනම් රෙසපිය...

 අවශ්‍ය දේවල්-                                                                 කාලය පැය1 1/2
කපා ගත් කුකුල් මස් (සම්පුර්ණ කුකුලෙකුගෙන් බාගයක්)
කහ තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2
ගම්මිරිස් තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 2 1/2
ලුණු තේ හැඳි 1
අබ තේ හැඳි 1/2
උළුහාල් තේ හැඳි 1/2
කපාගත් ලොකුළුණු ගෙඩි1
සූදුරු තේ හැඳි 3/4
අඹරාගත් සුදුළුනු බික් 4
වතුර කෝප්ප 1
පොල්කිරි කෝප්ප(මිටිකිරි)1/2
දෙහි යුෂ මේස හැඳි 1
තෙල් මේස හැඳි 2 1/2
අඹරාගත් ඉගුරු කෑල්ලක්

සාදා ගන්නා අකාරය-
  • බදුනකට කුකුල් මස්, කහ, කොත්තමල්ලි, ගම්මිරිස්, මිරිස්, ලුණු දමා හොදින් කලවම් කරගන්න. මෙය ආවරණය කර පැයක් පමණ ශීතකරණයේ තබන්න. 
  • තෙල් මද ගින්නේ රත්කර එයට අබ, උළුහාල්, ළුණු, සූදුරු දමා විනාඩි දෙක තුනක් බැදගන්න. ඉන්පසු එයට සුදුළුනු, ඉගුරු එකතුකර තවත් විනාඩියක් පමණ තබා කුකුළුමස් සහ වතුර එක්කරන්න. එය විනාඩි 20 ක් 30 ක් පමණ පිස ගන්න. 
  • ඉන්පසු පොල්කිරි මිශ්‍රකර හොඳි ගතිය අඩුවනතෙක් අඩු ගින්දරෙන් හින්දන්න. විටින් විට හැඳිගාන්න. අවසානයේ දෙහි එකතු කරන්න.
*සැර වැඩි කර ගැනීමට මිරිස් සහ ගම්මිරිස් ප්‍රමාණය වැඩිකර ගතහැක.